පායා ආ… හිරු කිරණ යටින්, බොඳ මීදුමට සැපත් වූ ඇය, පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයන්ගේ සමීපයට පැමිණ, ඔවුන්ගේ හද තුළ ලැගුම්ගත් “සංසලා” වූවාය. ඉකුත් දිනක ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාව නොතකා ඔබ වෙනුවෙන් අප ඇය සොයා ගියේ, මේ දිනවල පුංචි තිරයේ විකාශය වන ලාංකික ප්‍රේක්ෂකයන් මහත් වූ අභිරුචියෙන් වැළඳගත් “බොඳ මීදුම්” ටෙලි නිර්මාණයෙහි සංසලා නැතහොත් යුගයේ ජනප්‍රියතම යොවුන් රංගන ශිල්පිනියක වූ උදාරි චාමිකා වර්ණකුලසූරිය මුණ ගැසීමටය. “බොඳ මීදුම්” දර්ශන තලයේ දී ඉතාමත් සුහදව සහ ලෙන්ගතුව අප පිළිගත් ඇය “දිවයින සිනමා කලා” සමගින් මෙලෙස දොඩමළු වූවාය.
“මීගමුව ආවේ මරියා විදුහල් මාතාවගෙන් අධ්‍යාපනය හැදෑරූ මා පාසල් වේදිකාවේ “ශේක්ෂ්පියර්” නාටකයේ දී මුලින්ම මා සතු රංගන හැකියාවන් එළිදැක්වූවා. උසස් පෙළට මුහුණ දුන්නේ විද්‍යා අංශයෙන්.”
කලා ලෝකයට දොරගුළු විවර කර ගත්තේ මොන විදිහටද…?
මගේ පියා කලාවට හුඟක් ලැදි පුද්ගලයෙක්. ඔහුට ඕනෑ වුණා මා ඒ තුළ නියෑළෙනවා දකින්නට. එහි ආරම්භය ලෙස 2007 පැවති “දෙරණ මිස් ශ්‍රී ලංකා” තරගයට මා ඉදිරිපත් කරන්නට මගේ පියා කටයුතු කළේ එම නිසයි. සැබෑවටම මා කලාවට පිවිසියේ මගේ පියාගේ ආශාව නිසා යෑයි පැවසුවොත් එය වඩාත් නිවැරැදියි.
ඔබ රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක වන්නේ මේ තරගය හරහාද?
ඔව්. තරගය තුළදී අවසන් 12 දෙනා අතරට පිවිසීමට මට වාසනාව තිබුණා. ඊට අමතරව “මිස් ටැලන්ට්” සහ එස්.එම්.එස්. මගින් තේරුණු ජනප්‍රිය තරගකාරිය බවටද පත්වුණා. ඉන්පසු දෙරණ නාලිකාව ගෙන ආ “දෙරණ ජූක් බොක්ස්” සංගීතමය වැඩසටහන මාස 3 ක් පමණ මා විසින් ඉදිරිපත් කළා.
ඔබ රංගනය ආරම්භ කරන්නේ සිනමාව හරහා. ඒ සිදුවීම පිළිබඳව මතකය මොන වගේද…?
උදයකාන්ත වර්ණසූරියගේ ආරාධනයෙන් ඔහුගේ “පායා එන්න හිරු සේ” චිත්‍රපටය සඳහා ප්‍රධාන භූමිකාවට පණ පොවමින් රංගනයෙන් එක්වුණා. මෙහි මා ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක සමග රංගනයෙහි යෙදුණා. මගේ ප්‍රථම රංගන දායකත්වය ප්‍රවීණ පිරිසක් සමගින් එක්ව සිදු කරන්නට ලැබීම මගේ ඉදිරි කලා දිවියට යහපත් ආරම්භයක් වුණා. චිත්‍රපටයේ රූප ගතකිරීම් අවසානයත් සමග 2008 දී මා විවාහ වුණා.
ඔබේ සහකරුගේ මුණගැසීම පිළිබඳව යමක් සඳහන් කළ හැකිද…?
ඔහු සුජිත් විඡේරත්න. ශල්‍ය වෛද්‍යවරයකු සේම, දක්ෂ සැක්සෆොaන් වාදන ශිල්පියෙක්. සිරස සුපර්ස්ටාර් තුළින් බිහිවූ ගායන ශිල්පියකු වූ මාධවගේ ගීතයකට පසුබිම් රංගනයන් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේදී තමයි මට ඔහුව මුලින්ම දැන හැඳින ගැනීමට ලැබුණේ. එහිදී අප අතර ඇතිවූ මිත්‍රත්වය පසුව ප්‍රේමයට පෙරළී අවසානයේ විවාහය දක්වා දුරදිග ගියා. ඔහු වර්තමානයේ සිංගප්පූරුවේ එන්.ජී.එච්. රෝහලේ ශල්‍ය වෛද්‍යවරයකු ලෙසින් සේවය කරනවා.
“බොඳ මීදුම්” සමගින් ඔබට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර පිළිබඳව විශේෂ යමක් සඳහන් කළ හැකිද…?
ඇත්තටම සංසලාට ලැබෙන ප්‍රතිචාර පිළිබඳව මට දැනෙන සතුට අපමණයි. “බොඳ මීදුම්” සියලු නාලිකා අතර ප්‍රථම ස්ථානයේ රැඳී තිබීමත්, මා එහි ප්‍රධාන භූමිකාවකට ජීවය එක්කිරීමත්, මේ සතුට දෙගුණ කරවන්නක්. මෙගා ගණයේ ටෙලි නිර්මාණයක් වන “බොඳ මීදුම්” ලැබූ ජනප්‍රියත්වය නිසාම කොටස් 350 ක් පමණ දිගහැරෙතැයි දැනට මා විශ්වාස කරනවා. මෙහිදී සෑම දෙනාගෙන්ම ලැබන සහය විශ්ෂයෙන් සිහිපත් කරන්නට කැමැතියි.
එක් චිත්‍රපටයකත්, ටෙලි නිර්මාණයකටත් පමණක් රංගන දායකත්වය සපයා ඇති ඔබ මේ ලැබූ ජනප්‍රියතාව මතින් වැඩි නිර්මාණ දායකත්වයකට එක්වන්නට සිතන්නේ නැතිද…?
මගේ රංගන දායකත්වය චිත්‍රපට සඳහා ලබාදිය හැකි වුවත්, “නිල්වලා” ආයතනය සමග ගිවිසුම්ගතව ඇති නිසා වෙනත් ටෙලි නිර්මාණ “බොඳ මීදුම්” අවසන් වන තෙක් බාරගන්නේ නැහැ. මාසයට දින 20 ක් පමණ “බොඳ මීදුම්” රූගත කිරීම් සිදු කරන නිසා චිත්‍රපට සඳහා දින ලබාදීමටත් අපහසුයි. ලැබෙන අවස්ථා කාලය කළමනාකරණය කර ගනිමින් ඉටු කිරීමට වෙහෙසෙන්නේ එම නිසයි. ඊට අමතරව ස්වර්ණවාහිණිය ඉදිරිපත් කරන “ඩාන්සින් ස්ටාර්ස් ඩාන්සින්” ප්‍රසංගයට තරගවැඳීම සඳහා මේ දිනවල පුරුදු පුහුණු වෙනවා. මේ තුළින් මා සතු නර්ථන හැකියාවන් ප්‍රේක්ෂකයින් හමුවට ගෙන එAමට බලාපොරොත්තු වෙනවා.
රංගනය පිළිබඳව වැඩිදුරටත් හදාරමින් “මල්” චරිතවලින් එපිටට යමක් කරන්නට උත්සහ කරන්නේ නැතිද..?
සැබැවින්ම මා කලාවට පැමිණියේ ඒ පිළිබඳව නිෂ්චිත හැදැරීමකින් තොරවයි. ඔව්….අපේ රටේ රංගනය පිළිබඳව හැදැරීමට විශේෂිත වූ ස්ථානයක් නොමැතිවූවත්, කිසිවකු හෝ එවැනි ස්ථානයක් ආරම්භ කරනවා නම් මගේ උපරිම සහයත් ඒ සඳහා ලබාදීමට මා සූදානම්. ඉදිරියේ දී ඉන්දියාවට ගොස්, බොලිවුඩ් හි සිනමා තාරකාවක් වන අනුපම් කේර්ගේ රංගන පාසලට ඇතුළත්ව වැඩි දුරටත් රංගනය ගැන හැදැරීමට බලාපොරොත්තු වෙනවා. එA හරහා ලබාගන්නා දැනුම මතින් කලාවට වෙනස් වු යමක් කරන්නට අදහස් කරනවා.
අපේ ප්‍රවීණ රංගන ශිල්පීන් පිළිබඳව ඔබට ඇත්තේ කිනම් ආකල්පයක්ද…?
අපේ සිනමාවේ නිළි රැජන මාලිනි ෆෙන්සේකා මහත්මියට සහ අනෝජා වීරසිංහ මහත්මියට මා හුඟක් කැමතියි. ඔවුන්ගේ රංගන දිවිය දෙස බලා නවක අපට ලබා ගතහැකි දේ මෙතෙකැයි කියා කියන්නට බැහැ. මා පුද්ගලිකව මාලිනි ෆෙන්සේකා මහත්මියගේ රංගනයට හුඟක් කැමතියි. ඇය වැනි රංගන ශිල්පිණියක් වීම මට සිහිනයක් වූවත්, අනාගතයේ කිසියම් දිනක එය සපත කරගැනීමට හැකි වුණොත් මගේ සිහිනයක් සැබෑ වූවාක් සේ හැඟෙයි. මා මාලනීයට ආදරය කරනවා සේම ගෞරවයත් පුද කරනවා.
ඔබේ අනාගත ඉලක්කයන් මොන වගේද?
“බොඳ මීදුම්” හරහා මගේ රංගන හැකියාවන් උපරිමයට ගෙන එන්නට උත්සහ කරන අතරම මගේ අධ්‍යාපනය පැත්තෙන් ඉදිරියට ගොස් ළමුන් වෙනුවෙන් මනෝ විද්‍යාව හරහා ඔවුනට සමීප වීමට උත්සහ කරනවා. ඒ පිළිබඳ මුල් අදියරේ ඉගෙනුම් නිමාකර අවසන්. මගේ සැමියාද වෛද්‍යවරයකු නිසා මාද ඒ කාර්ය භාරය තේරුම් ගෙන ඇති නිසාත් ඒ හරහා සේවයක් සිදු කරලීමට මේ අංශය තෝරාගත්තා. කලාව පිළිබඳව වැඩි දුරටත් හැදැරීමත්, ඒ ඔස්සේ දක්ෂ නිළියක වීමත් සැබෑ කරගත යුතු තවත් සිහිනයක්.
ඔබේ විවාහ දිවියේ මීළඟ බලාපොරොත්තුව වූ “පුංචි සිඟිත්තකු” පිළිබඳව ඔබ සිතන්නේ මොන විදිහටද…?
මම ඇත්තටම පුංචි දරුවන්ට හරිම ආදරෙයි. ඔව්. මට තවම වයස 22 යි. තව වසර තුනකින් පමණ ඒ සිහිනයත් සැබෑ කර ගැනුමට අදහස් කරනව. වෙනත් රටක පදිංචියට යැමටත් සැලසුම් කොට තිබෙනවා. ඒත් මගේ රට අමතක කරන්නට අදහස් කරන්නේ නැහැ. හොඳ නිර්මාණ සඳහා ආරාධනා ලැබුණු විගස මෙහි පැමිණ කලාවට සේවයක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඔබේ කලා දිවියට උපකාර කළවුන් සහ සිහි කළ යුතු තවත් පිරිසක් සිටිනවාද…?
මගේ මව ඇමරිකාවේ පදිංචිව සිටියත් ඇය මගේ කලාවට කරන උපකාරත්, මා සමග මෙහි රැඳී සිටින මගේ පියාත් ඔස්ටේ්රලියාවේ සිටින එකම සහෝදරයාත්, ආදරණීය සැමියාත් දක්වන සෙනෙහස පිරි ආදරය සහ කරුණාව මගේ කලා දිවියේ අමතර ශක්තිය ලෙස හැඳින්වීමට පුළුවන්. ඊට අමතරව ධම්මික සිරිවර්ධන, උදයකාන්ත වර්ණසූරිය, ලලිත් වසන්ත, උපුල් ජයසිංහ, සුජීව ප්‍රසන්නආරච්චි, දේශමාන්‍ය චන්දික විජයසේන, සඳුන් රාජකරුණා, නිල්වලා නිෂ්පාදක කණ්ඩායම සහ මගේ සහෝදර රංගන ශිල්ප ශිල්පිනියන් මෙන්ම සෑම විටකදීම මා සමග සිටින සුවහසක් වූ ප්‍රේක්ෂක ජනතාවද ආදරයෙන් සිහිපත් කෙරුමට සහ කෘතවේදිත්වය පළ කිරීමට මෙය අවස්ථාව කොට ගැනීමට කැමැතියි. ඉතාමත් කෙටි කාල පරාසයකදී රංගයෙන් ශ්‍රී ලාංකික හදවත් ඇද බැඳගත් නව පරපුරේ ජනප්‍රියතම යොවුන් රංගන ශිල්පිනියක වූ උදාරි චාමිකා වර්ණකුලසූරිය නම් වූ සොඳුරු කලා ශිල්පිනියට ඔබත් ලියන්න. “උදාගිරි”, බෝලවත්ත, වයික්කාල ඇගේ වත්මන් ලිපිනයයි. අපි ඇගේ ඉදිරි කලා දිවියට මෙලෙසින් සුබ පතමු.
Post a Comment