අප හිතාදර නිළි ගීතා කාන්ති ජයකොඩි මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර කාලය ගත කරන බවයි අපට ආරංචි වන්නේ. ඒ මහේෂ් බණ්ඩාරගේ අලුත්ම ටෙලි සිතුවම වන මතක සුළඟ නිසා.
ගීතා සමඟ ලක්ෂ්මන් විජේසේකර, ශි්රයන්ත මෙන්ඩිස්, කුසුම් රේණු, කංචන කොඩිතුවක්කු, චතුරිකා පීරිස්, සම්පත් කුමාරතුංග, වසන්ත විට්ටච්චි ඇතුළු පිරිසද මහේෂ්ගේ මතක සුළඟට මැදිවී සිටිනවා.
මහින්ද නැමැති තරුණයෙක් සිය පියා සොයා ඕස්ට්‍රේලියාවට පැමිණෙන ගමනක්, මතක සුවඳ සඳහා පාදක වී තිබොනවා. මහින්දගේ මවටයි ගීතා රංගනයේ යෙදෙන්නේ.
මේ කටයුතුවලට අමතරව නිල්නෙතු ටෙලි සිතුවම සඳහා තමාට ඉහළ ප්‍රතිචාර ඕස්ට්‍රේලියාවෙන්ද ලැබෙන බව ගීත පවසන්නේ සතුටිනි.
ඔව් මම සංජු මම දුක් විඳින්න අකමැති කෙනෙක්
සංජු සමනළී රොඩ්රිගෝ මේ දිනවල ගැහැනු ළමයි ටෙලි වෘත්තාන්තයේ ‘පද්මිණී’ ලෙස ජනප්‍රිය වුවද, ඇය රූපවාහිනී නිවේදිකාවකි. ඈ සතු මුඛරි බව, කෙළිලොල් බව නිසාම ප්‍රේ්ක්ෂක හදවත් තුළ ලැගුම් ගන්නට තරම් සංජු වාසනාවන්තියක වී තිබේ.
වැඩිමහල් සහෝදරියන් හතර දෙනෙකුගෙන් යුත් පවුලට සංජු එක් වන්නේ පවුලේ බඩපිස්සී ලෙසයි. පවුලේ බාලයා නිසාම හුරතලයෙන් හැදුන සංජුට ඇගේ ලොකු අක්කා කියු පරිදිම නිවේදිකාවක් වන්නට වරම් ලැබිණි.
‘ඉස්කෝලෙ යන කාලෙම මම ශ්‍රී එෆ්. එම්. එකේ නිවේදිකාවක් විදිහට කටයුතු කළා. එතනදි මම ලැබූ පුහුණුව වචනයෙන් විස්තර කරන්නත් බැරි තරම්. ඊට පස්සෙ වයි. එෆ්. එම්. එකට සම්බන්ධ වුණා. ඊට පස්සෙ තමයි මැක්ස් ටී. වී. එකට සම්බන්ධ වුණේ.
ගුවන් විදුලි නිවේදිකාවක ලෙස නිවේදන ක්ෂේත්රයට පිවිසි සංජු, මැක්ස් ටී. වී. තුළින් ප්‍රේක්ෂක හදවත්වලට ළෙන්ගතු මිතුරියක් වූ බව නොරහසක්.
‘පාරාදීසය සජීවි වැඩසටහන තමයි මැක්ස් ටී. වී. එකේදී මම මුලින්ම කළේ. කිසිම බයක්, චකිතයක් නැතුව මම ඒ වැඩසටහන කළා. ඊට පස්සෙ උදේ ඉඳන් රෑ වෙනකල්ම මැක්ස් එකේ් වැඩසටහන් කළේ මම.’
‘නමුත් දැන් ඔබ මැක්ස් රූපවාහිනියෙ නැහැ.’
ඔව්, මට ගැහැනු ළමයි ටෙලි නාට්‍යයෙ රඟපාන්න ලැබුනෙ ‘මැක්ස්’ එකේ ඉන්න කොට. ‘පද්මිණී’ කියන්නෙ යමක් කළ හැකි චරිතයක් නිසා මං ඒ ආරාධනාව පිළිගත්තා. ඒත් ෂූටිං දිගට වැටෙන කොට මට පූර්ණකාලීන නිවේදිකාවක් විදිහට රැෙඳන්න බැරි වුණා.
‘රඟපෑම නිසා නිවේදනය අත හරින්න සූදානම් කියලද කියන්නේ?’
‘කවදාවත් නැහැ. මම තවම නිවේදිකාවක්. ෆ්‍රී ලාන්ස් නිවේදිකාවක් විදිහට මම ස්වර්ණවාහිනියෙ වැඩසටහන් කීපයක්ම කරනවා. නිදහස් නිවේදිකාවක් විදිහට ඉන්න එකත් හොඳයි කියලා හිතෙනවා. එකම තැනක ඉඳන් ඒකාකාරී වෙනවට වඩා මේ විදිහට වැඩසටහන් කරන එක හොඳයි.’
තමන් ඉදිරිපත් කරන වැඩසටහන හොඳින් කරගෙන, ප්‍රේක්ෂකයා තමා වෙතම රඳවා ගැනීම නිවේදිකාවකගේ වගකීම බව සංජුගේ මතයයි.

‘හතු පිපෙනවා වගේ නිවේදක නිවේදිකාවෝ ආවට, දවසක රැඳෙන්නෙ, පැවතෙන්නෙ දක්ෂකම තියෙන කෙනා විතරයි’ සංජු පවසන්නේ මුසාවක් නොවනා වග අපි ද දන්නා වූ කරුණකි.
ගැහැනු ළමයි හි පද්මිණී ලෙස සංජු කරන රඟපෑමට ලැබෙන ප්‍රතිචාර සතුටුදායක බැව් ඇය අප සමඟ පවසයි.
‘සමහරු බනිනවා මට. ඒ ඉතින් මම මට ලැබුන චරිතය හොඳින් කරන නිසා කියලා දැනෙනවා.
වහින්න මුතු වැස්සක්, මායා මන්ත්‍රී ඇතුළු ටෙලි නාට්‍ය පහකට මම රංගනයෙන් දායක වුණා. ඒ වගේම එරංග සේනාරත්නගෙ අලුත්ම චිත්‍රපටයෙත් රඟපානවා.
තව ටෙලි නාට්‍ය කීපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. මම ලැබෙන හැම දේම බාර ගන්නෙ නැහැ. ගොඩාක් ඈත ෂූටිං තියෙන ඒවට මම යන්නෙ නැහැ. මම දුක් විඳින්න ටිකක් අකැමැති කෙනෙක්.
නිවේදිකාවක්, නිළියක් ලෙසින් ප්‍රේක්ෂක ආදරය ලබන සංජු දැනටමත් පෙම්වතියක්.
‘ඔව් මං පෙම්වතියක්. එයා ව්‍යාපාරිකයෙක්.
මගේ කලා කටයුතුවලටත් උපරිම සහයෝගය දෙනවා. විවාහ වෙන්න තව ටික කාලයක් යයි’ තම පෙම්වතා ගැන කතා කරන සංජුගේ හඬ පුරාම රැඳී තිබුණේ සතුටයි.

Post a Comment