ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න
උදාරි අතින් සිදුවුණා යැයි කියන වරදට ඇයට නීතියෙන් දඬුවම් ලැබී තිබෙනවා. ඇය මේ වනවිට තමාට සිදු වුණා යැයි කියන බලපෑම්වලට නීතිය හමුවට ගොස් තිබෙනවා. ‘බොඳ මීදුම්’ ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක්.
මෙම ටෙලිනාට්‍යය මගින් උදාරිට විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. උදාරි පිළිබඳ සිදුවීමට ප්‍රසිද්ධියක් ලැබෙන්න ඇයගේ ජනප්‍රියත්වය හේතු වුණා. මෙම සිදුවීම නිසා උදාරි විශාල වශයෙන් මානසික පීඩාවකට පත් වුණාට සැක නෑ.
මේ ගැටලුව උණුසුම්ව කතාබහට ලක් වුණු දිනවල ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයට උදාරිව සහභාගි කරවා ගැනීම ගැනත් බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කළා.
‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයෙන් තමන්ට ඉවත්වීමට සිදුවූවොත් එය තමාගේ රංගන ජිවිතයට විශාල වශයෙන් බලපාන බවත් දිගටම එම ටෙලිනාට්‍යයේ රඟපෑමට තමාට ඉඩ ලබාදෙන ලෙසත් උදාරි ස්වාධීන රූපවාහිනියෙන් ඉල්ලා සිටියා. ඒ ඉල්ලීමට අපි ඇහුම්කන් දුන්නා.
ඒ වගේ ම මානසිකව පීඩාවට පත්ව සිටින උදාරිව ටෙලිනාට්‍යයෙන් ඉවත් කර තවත් මානසිකව පීඩාවට පත් කිරීම මානුෂික ක්‍රියාවක් නොවන බව අපට වැටහුණා.
ඒ නිසා අප තීරණය කළා උදාරිට ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ දිගටම රඟපාන්න අවස්ථාව ලබාදෙන්න.
ඒක ටෙලිනාට්‍යයෙන් අපට ලැබෙන වාසිය නිසා ගත් තීරණයක් නෙමේ. උදාරිගේ මානසික තත්ත්වය ගැන ම හිතල ගත් තීරණයක්. අනෙක මානසිකව පීඩාවට පත් වුණු කෙනෙක් තවත් පීඩාවට පත් කිරීමෙන් ඇති පලේ මොකක්ද?
ප්‍රශ්නයක් වෙන්න ඉඩ තැබුවේ නෑ
‘බොඳ මීදුම්’ අධ්යක්ෂ චන්දික විජේසේන
මුලින් ම කියන්න ඕන උදාරි කියන්නෙ රංගන ක්ෂේත්රයේ දිගු ගමනක් යන්න හැකියාව තියෙන දක්ෂ නිළියක්. රූපගත කිරීම්වලදී අපි කියන දේට හොඳට ඇහුම් කන් දීල වැඩේට හොඳ සහයෝගයක් ලබාදෙනවා.
උදාරිට ඇති වෙච්ච ප්‍රශ්නයෙදි ඇයට බොහෝ දෙනෙක් පහර ගහන වේලාවෙ ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ අධ්යක්ෂවරයා විදිහට මම උත්සාහ කළේ ඇයගේ මානසික මට්ටම වැටෙන්නෙ නැතිව තබාගන්න උදව් වෙන්න. හැමෝම අතින් වැරදි වෙනවනෙ. වැරදි නොකරන, නොකරපු කෙනෙක් මේ සමාජයේ නැහැනෙ. කවුරු හරි අතින් වරදක් වුණාම ඒ පස්සෙ පන්න පන්න ගහන එක නෙමෙයි වැඩේ.
ඒ වැරැද්ද හරි ගස්සගෙන ඉදිරියට යන්න අතදීමයි වැදගත්. උදාරිගෙ ප්‍රශ්නයෙදිත් එයා කොන් කරල එයා ක්ෂේත්රයෙන් ඉවත් කරන්න අපට ඕන වුණේ නෑ. එයාගෙ මානසික තත්ත්වය හදාගෙන මේ නාට්‍යය තුළ ඉදිරියට ගෙන යන්න තමයි අපිට ඕන වුණේ. ‘බොඳ මීදුම්’ රූපගත කිරීම් වලදිත් උදාරිට කිසිම ප්‍රශ්නයක් වෙන්න මම ඉඩ තිබ්බේ නෑ. අපේ කණ්ඩායමේ කවුරුවත් උදාරි ගෙන් ඒ ප්රශ්නය ගැන ඇහුවේවත් නෑ.
එයාගෙ ප්රශ්නය විසඳා ගන්න වෙනත් ක්‍රමවලින් අපි උදව් කළා. එයාට අපි කිසිම වෙනසක් පෙන්නුවේ නෑ. ‘බොඳ මීදුම්’ ඉතා සාර්ථකව මේ දිනවල විකාශය වෙනවා. උදාරි මානසිකව වැටුණොත් නාට්‍යයත් සාර්ථකව කරගෙන යන්න බැරි වෙනවා. ඒක අපටත් විශාල බාධාවක්. අප සැම විටම උත්සාහ කළ යුත්තේ යමෙකුගෙන් කිසියම් වරදක් සිදුවුණා නම් එය නිවැරදි කරගන්න උදව් වෙන එකයි.
නියම මිතුරන් හඳුනා ගත්තා
උදාරි වර්ණකුලසූරිය
මට ඇති වෙච්ච ප්‍රශ්නයෙදි ඇතැම් දෙනා මාව වට්ටවන්න උත්සාහ කළත් ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ අධ්යක්ෂ, නළු නිළියන්ගේ සිට කෑම සපයන කෙනා දක්වා සියලු ම දෙනා මාත් එක්ක හිටියා. මට මානසිකව වැටෙන්න ඉඩ දුන්නේ නෑ.
ඒ වගේ ම ‘බොඳ මීදුම්’ නිෂ්පාදනය කළ නිල්වලා ආයතනයේ සියලුම දෙනාත් මාව අස්වැසුවා. ඒ සියලු ම දෙනා මාව ධෛර්යවත් කරමින් කතා කළා. ඒ වගේ ම මගේ අම්ම, තාත්ත, අයිය මගෙ සැමියා මාව අතහැරියෙ නෑ. ඒ අය සැම විටම මාව ධෛර්යවත් කරමින් මගෙ මානසික මට්ටම තිබුණටත් වඩා උසස් තැනකට ඔසවල තැබුවා.
ඒ නිසා ඒ සියලු ම දෙනාට මම ණය ගැතියි. ක්ෂේත්රයේ සිටින මගෙ සමකාලීන නළු නිළියන් සියලුම දෙනාත් මාත් එක්ක හිටිය. බොහෝ දෙනෙක් මගෙන් මේ ගැන ඇහුවෙවත් නෑ. කවුරුත් මට ගැරහුවෙ නෑ. හැබැයි නිරූපණ ක්ෂේත්රයේ ඉන්න කීප දෙනෙක් විවිධ දේවල් කියල තිබුණා. ඒ ගැන මට කනගාටුයි. නියම මිතුරන් මෙහිදී මම හඳුනා ගත්තා.
ගාමිණී සුසන්ත
ඡායාරූපය – ටෙනිසන් එදිරිසිංහ
Post a Comment