Jan
01
මේධා මේ දිනවල රංගන ශිල්පිනියක් ලෙස පුංචි තිරයෙන් අපේ ආලින්දයට ගොඩ වැදුන ද, දැනට වසර කීපයකට පෙර ඈ රසික සිත්වලට ආමන්ත්‍රණය කළේ නිවේදිකාවක් ලෙසිනි. මේධා ජයරත්න නම් වූ නිවේදිකාව සරසවිය සමඟ කතාබහට එක් වූ මොහොතකි මේ.
‘මම තවමත් නිවේදන වෘත්තියට ආදරෙයි. ඒත් ඉස්සර වගේ කාලයට හරියන වටිනාකමක් අපිට ලැබෙන්නේ නැහැ. වැඩසටහන්වලට ආරාධනා ලැබෙනවා. ඒත් මුලින් මං කිව්ව හේතුව නිසාම මං ඒ ආරාධනා ප්‍රතික්ෂේප කළා. නිසි වටිනාකමක් ලැබෙන රූපවාහිනී වැඩසටහනකට ආරාධනා ලැබුණොත් මම ඒ ආරාධනාව පිළිගන්නවා.’
මේධා නිවේදිකාවක් ලෙස අත් පොත් තබන්නේ ස්වර්ණවාහිනියෙනි.
‘මං නිවේදිකාවක් විදිහට ස්වර්ණවාහිනියට සම්බන්ධ වුණේ මගේ මහත්තයාගේ යාළුවෙක් වුන නාමල් සල්ගාදුගෙ ආරාධනයකින්. ඒ 2002 දී. ඒ දවස්වල ස්වර්ණවාහිනියෙ වැඩසටහන් අධ්‍යක්ෂවරයා වුනේ ශ්‍රීමාල් වෙඩිසිංහ මහතා. සම්මුඛ පරීක්ෂණයෙන් සහ ස්ක්‍රින් ටෙස්ට් එකෙන් සමත් වුන මම එහි නිවේදිකාවක් වුනා. මුලින්ම ඉදිරිපත් වෙන්න ලැබුණෙ සජීවි වැඩසටහනකට.
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ඒ වැඩසටහන කළේ ජැක්සන් ඇන්තනී මහත්මයා. එතනින් ඇරඹුණ ගමන් මගේ මම ස්වර්ණෝදය, අරුණෝදය, පංච කළ්‍යාණි ඇතුළු වැඩසටහන් රැසක් කළා.’
මේධා ස්වර්ණවාහිනියෙන් සමුගන්නෙ ඇය මව් පදවිය ලැබීම නිසායි.
‘පුතා ලැබිලා මාස 4 ක් මට නිවාඩු ලැබුණා. ඒත් ඊට පස්සෙ මට පුතාව දාලා යන්න ලෝබ හිතුනා. ඒ නිසා රැකියාවෙන් අයින් වුනා. ඒ දෑස්වල රැඳී තිබුනේ අපරිමිත වූ දරු සෙනෙහසයි.
‘පුතා ටිකක් ලොකු වුනාට පස්සෙ මම නැවත නිවේදන ක්ෂේත්‍රයට පිවිසුනා. ඒ දෙරණ නාලිකාවෙන්. දෙරණ ආරම්භක නිවේදිකාව වුනේ මම. ‘අම්මයි මමයි, නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා’ ඇතුළු වැඩසටහන් බොහොමයක් මං කළා.’
නිවේදිකාවක් විදිහට රැඳුන මේධාට රඟපාන්න හිතුනෙ ඇයි? මගෙන් අතුරු ප්‍රශ්නයක්.
ඇත්තටම මට රඟපාන්න උවමනාවක් තිබුණෙ නැහැ. නිවේදිකාවක් විදිහට ඉන්න කාලෙ ඉඳලම මට රංගනයට ආරාධනා ලැබුණත් මම ඒවා ප්‍රතිත්ෂේප කළේ ඒ නිසයි. ඒත් ‘වසූදා’ ටෙලි නාට්‍යයට මට දිගින් දිගටම ආරාධනා ලැබුණ නිසා, ඒ ඉල්ලීම් සහ ආරාධනා ප්‍රතික්ෂේප කළේ නැහැ. රඟපෑවත් අදටත් මම නිවේදන වෘත්තියට ගරු කරනවා. ඒත් නිවේදන වෘත්තියේදී මම කැමති තැනට යන්න බැරි වුනා’.
‘යන්න කැමති තැන කියලා අදහස් කරන්නෙ මොකක්ද?’
‘මගේ වචන මාලාව තවම පොහොසත් නැහැ. ඒ වගේම මා සතු දැනුමත් අල්ප තැනක තියෙන්නෙ කියලා මම හිතනවා. මට එහෙම හිතෙන්නෙ අපේ ප්‍රවීණ නිවේදක නිවේදිකාවන් සමඟ මාව සසඳන කොට මිසක් දැන් ඉන්න අය එක්ක සසඳන විට නම් නෙවෙයි. මම තවමත් ඉගෙන ගන්නවා, පොත් කියවනවා. තව වයසින් මුහුකුරා යද්දී ඒ තැනට මට එන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මම මේ වෘත්තියට බයයි. ඒ මේ වෘත්තියෙ බැරෑරුම්කම දන්න නිසා.
‘ඔයා කියන ඔය බැරෑරුම්කම වත්මන් නිවේදක නිවේදිකාවන් දන්න බවක් අපට පේන්නෙ නැහැ?
‘ඇත්ත, දැන් නිවේදන ක්ෂේත්‍රයෙ ඉන්නෙ නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න අයයි, නළු නිළියොයිනෙ. දැන් බලන්නෙ රූපය විතරයි. මෙතනදි මම දොස් දකින්නෙ අදාල නාලිකාවල මැනේජ්මන්ට් එකට. අද ඉන්න බොහොමයක් නිවේදක නිවේදිකාවො කිසිම වෘත්තීය සුදුසුකමක් නැති අය.

Post a Comment