“බස් බෝඩ්එක කියවන්නයි නම ලියන්නයි මට පුළුවන. මං ළඟ ඉඳගෙන ඉස්කෝලේ මිස්ලා කියලා දෙනවා. ඒ වුණාට මට මතක හිටින්නේ නැහැ. මම ඉස්කෝලේ හතට ගියා. අකුරු බැරි වුණාට මම ඉස්කෝලෙ යනවා. ඉතිං පාස් වෙනවා. එහෙම හතට ගියා.
අපේ ගෙදර ඉන්නේ බාප්පයි අම්මයි මමයි නංගියි චූටි නංගියි ආච්චියි. අපේ ගෙදර තියෙන්නේ රේල් පාර ළඟ. අපේ ගම අනුරාධපුරේට ළඟයි. තාත්තා පොඩි කාලේ නංගිවයි මාවයි දාලා ගිහින්. බාප්පා අපිට හරි ආදරෙයි. බාප්පා මාත් එක්ක සෙල්ලම් කරන්න එනවා. මම රේල්පාරේ සරුංගල් යවනවා. දැන් මගේ නංගිගේ වයස අවුරුදු 11 යි. අනිත් නංගි තාම කිරි බොනවා.
අපේ බාප්පා කරන්නේ කුලීවැඩ. අනෙක් දවස්වලට බෝතල් යකඩ එකතු කරලා විකුණනවා. අම්මට උයන්න බැරිදාට කෑම උයන්නෙත් අපේ බාප්පා. බෝතල් එකතු කරන්න යන්න බාප්පා මට කවදාවත් අඬගහන්නේ නැහැ. තනියම යනවා. අපේ ආච්චි ඇඳට වෙලාමයි ඉන්නේ. ඒත් එයාට අසනීපයක් නැහැ.” යැයි කී නාමල් නිහඬ විය.
”එතකොට අම්මා?”
මම ඇසූ පැනය නෑසිය යුතු වුද එය ඇසිය යුතුය.
නාමල්ගේ නාසයද කම්මුල් ද රත්පැහැ ගැන්වී දෙතොල් එකිනෙක තෙරපී ගියේ වේදනාවට පත් වැඩිහිටියෙකු වේදනාව සමනය කරගැනීමට දරන ප්‍රයත්නය සිහිකරමිනි. ඒත් ළපටි මුව මඩළ රත්පැහැ ගනිද්දී දෑසේ කඳුළු නැඟී එනු පෙනිණි.
”අපේ අම්මා සල්ලි ඉල්ලන්න ගිහින් ඉන්නකොට පොලීසියෙන් අල්ලන් ගිහින් බන්ධනාගාරේ හිටියේ එතකොට.”
”එතකොට කියන්නේ?”
”බාප්පවයි මාවයි පොලිසියෙන් අල්ල ගන්න කොට.” කී කොලුවා රත්පැහැ ගැන්වුණු දෑසින් මදෙස බලා සිටියේය.
”අම්මවයි බාප්පවයි බන්ධනාගාරේට දැම්මහම ඒ අය බලන්න මමයි, නංගියි, ආච්චියි ගියා. ඒ ගියහම පොලිසියෙන් සැකපිට කියලා මාව අත්අඩංගුවට ගත්තා. උසාවියට ආවහම තමයි මම දන්නේ මාව අත්අඩංගුවට ගත්තේ ඇයි කියලා අම්මා කීවේ බාප්පගේ් නඩුවට ම තමයි කියලා...”
මොකක්ද බාප්පගේ නඩුව කියලා මට අහන්න ඕන වුණත් මම ඇහුවේ ඇයි අම්මා පාරේ සල්ලි ඉල්ලන්න ගියේ? කියන ප්‍රශ්නය විතරයි.
ආයෙත් කොල්ලාගේ මූණ රතුවුණා. මට හිතාගන්න බැහැ දරුවෙක් එවැනි වේදනාවක් කොහොම දරන් ඉන්නවද කියලා.
”අපිට කෑම නැතිවුණාම තමයි අම්මා චූටි නංගි එක්ක ටවුමට ගිහින් කාගෙන් හරි සල්ලි ඉල්ලන්නේ. අපි ඒක දන්නේ නැහැ. කවුරුත් කියලත් නැහැ.”
”මට ආයේ ගෙදර යන්න වෙන්නේ නැති එකට මට හරිම දුකයි. මම ගෙදර ඉන්නකොට දඟකළේ නැහැ. සෙල්ලම් කළා ගේ ඉස්සරහ තිබුණු වැලි පිට්ටනියේ. එහෙම නැත්නම් රේල්පාරේ සරුංගල් ඇරියා. ගෙවල් ගානෙ ගියේ නැහැ. රස්තියාදු වෙන්න ගියෙත් නැහැ.”
”අනේ අපේ අම්මා හැමදාම සල්ලි ඉල්ලන්න යන්නෙ නැහැ. සල්ලි නැති වුණොත් විතරයි යන්නේ. අපි ඔක්කොම බන්ධනාගාරේට යැවුවේ එකම දවසේ. නංගිත් තියා ගත්තා.
අපිට ගෙයක් තිබුණෙත් නැහැ. අපේ ගේ හදලා දුන්නෙත් වෙන මහත්තයෙක්. අපේ ගෙදර ඔප්පුව අපේ ආච්චි වෙන පුතෙකුට දීලා එයා ඒක තියාගෙන හිටියා. දැන් එයා ඒක විකුණන්න හදන්නේ. දැන් ඉතින් අපිට ගෙවල් මොකටද අපේ ගෙදර තිබුණු ඇඳත් ඒ මාමා අරන්ගියා. මාව මෙහෙට එවනකොට අපේ අම්මට ඇපදීලා ගෙදර යැව්වා. බාප්පා තවම බන්ධනාගාරේ.”
”බාප්පා හොඳයි. අපිට ආදරෙයි. අපිට වැඩක්වත් කරන්න කියන්නේ නැහැ. මම නම් බත් උයන්න පොල්ගාලා දෙනවා. අපේ නංගි එහෙමවත් කරන්නේ නැහැ. අම්මා වැඩක් කීවහමත් එයා අඬන්න පටන් ගන්නවා.
අඬ අඬා ඉඳලා වැඩ නොකර බේරෙනවා.
එයා ඉන්නේ අපේ ආච්චිගේ ළඟටම වෙලා. ආච්චි එයාව බලාගන්නේ. එයා ආච්චි කියන දෙයක් කරලා දෙනව. ආච්චිත් කිසිම දෙයක් කරන්නේ නැහැ නිදිය ගන්නවා විතරයි.”
අපේ ආච්චි බාප්පත් එක්ක තරහයි. බාප්පට ගෙට එන්න දෙන්නෙත් නැහැ. බාප්පා නිදාගන්නේ ටකරන් කෑල්ලේ පුටුවක. අපි නිදාගත්තට පස්සේ එනවද කියලා දන්නේ නැහැ. ආච්චි නපුරුයි හැමතිස්සෙම බාප්පට බණිනවා. බාප්පා ඉන්න තැනට ඇඳක් දාලා දෙන්න ඉඩ දෙන්නෙත් නැහැ. අපේ ආච්චිගේ වැඩේම කුනු කුනු ගගා බාප්පට බණින එකමයි. ඒත් බාප්පා මොකුත් කියන්නේ නැහැ. ඉවසගෙන ඉන්නවා. බැරිම තැන තමයි අත උස්සන්නේ. අත ඉස්සුවහම ඇති. ආච්චි පොලිසියට පැමිණිලි කරනවා කියලා යනවා.”
”අම්මා මගෙන් අහන්නෙ නැහැ මම නංගිට වරදක් කළාද කියලා. ඒත් බාප්පගෙන් අහනවා. එයා නෑ කියනවා. බාප්පා බන්ධනාගාරේ ඉන්නේ අඬ අඬාම තමයි.”
”මම එදා පොලිසියට නොගිය නම් මට මෙහේ එන්න වෙන්නේ නැහැ. ඒත් සමහරවිට ඉස්කෝලේ යන්නේ නැහැ කියලා මෙහේට එවයිද දන්නේ නැහැ. කොල්ලා ඉකිය යටපත් කරගනිමින් කීවේය.
අසාමාන්‍ය දරුවකු නොවුණ ද මුහුණ පෑ චිත්ත පීඩාව නිසාදෝ දරුවාගේ හැසිරීම්හි වෙනසක් පෙනිණි. එහෙත් පාසල් ගියද අධ්‍යාපනයක් නොලැබුණු කෝළ ගැමි දරුවකුගේ අව්‍යාජ බව නාමල්ගේ හැසිරීම් තුළින් මනාව ප්‍රකට විය.
නාමල් නිවැරැද්දේ රැඳවුම් නිවසට ආවා නම් ඔහු එතැනින් එළියට යන්නේ අපරාධකරුවකු ලෙසය. මම මෙතෙක් කල් නොකීව ද කීමට අකමැතිවූද නොයෙක් ආකාරයේ හේතු මත එය සිදුවනු ඇත. එතැනට පැමිණෙන දරුවන් අතරින් සීයට 2 – 5 අතර පිරිසක් දඩබ්බරයෝය. අපයෝජනයට ලක්වූවෝය. මතට ඇබ්බැහි වූවෝය. කෙතරම් ආරක්‍ෂක උපක්‍රම යොදා රඳවා තැබුවත් ඇතැම්විට ඔවුහූ සිය අවශ්‍යතා එම රැඳවුම් නිවහන තුළදී සපුරා ගනිති. ඔවුන් හා ගැවසෙන අහිංසකයන් රැඳවුම් නිවහනින් එළියට යන්නේ දඩබ්බරකම්, මැරකම්, ජඩකම් ඉගෙන පැමිණියාටත් වඩා මනස දූෂණය කර ගෙනය.
” මිස්, ඕකත් එක්ක කතා කරන්න එපා. ඕකා ඇවිත් තියෙන්නේ...” කියමින් නාමල් හා දොඩමලු වීමට මට ඉඩ නොදුන් දරුවෝද එතැන සිටියහ.
”මම එහෙම කළේ නෑ මිස්.” යන්නවත් නොකියා කඳුළින් බර දෑසින් බැලූ නාමල් මට පසුගිය දින කිහිපය පුරාම සිහිවිය. දරුවෙකුට චෝදනා කරන්නට පෙර අප බොහෝ විමසිලිමත් විය යුතුය.
”ඔයා පොලිසියෙදි මොනවද කීවේ?” මම නාමල්ගෙල් අවසානයේ ඇසීමි.
”මොකුත් නෑ මිස් මොකුත් කියලා වැඩක් නැහැ කියලා හිතුණා.”
නාමල් දෑස් කඳුළින් පුරවා ගනිමින් කීවේය. නාමල්ගේ දෑස් රතු වී තිබිණි. ඒ නිරන්තරයෙන් හැඬූ නිසා නොවේ. රැඳවුම් නිවසේ දරුවන් අතර බෝවන ඇස් ලෙඩ පැතිර යන බැවිනි. නාමල් කඳුළු පෙරෙන දෑස් කිලිටි කමිසයෙන් පිස ගන්නා අයුරු මම බලා සිටියෙමි. පරාජිත දෑසින් මදෙස බලන නාමල් දෙස මම ද බලා උන්නෙමි
Post a Comment