සුදත් රෝහණ
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මේ දිනවල විකාශය වන ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යය කාගේත් අවධානය දිනාගත්තක්. පසුගිය වසරේ ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත් සමරවීර විජයසිංහ ගේ ‘ස්වයංජාත’ නවකතාව ඇසුරින් ප්‍රවීණ ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් රෝහණයන් පුංචි තිරයට රැගෙන එන මෙය පුරා වසර ගණනාවක අතීතයට අප රැගෙන යන්නක්. මේ ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යය පිළිබඳ සුදත් රෝහණ සමඟ කළ කතා බහක්.
මාස 03 ට අධික කාලයක් තිස්සේ ‘ස්වයංජාත’ ටෙලිනාට්‍යය විකාශය වෙනවා. මොනවද ඔබට ලැබෙන ප්‍රතිචාර?
පසුගිය කාලය දිහා ආපස්සට හැරිලා බලද්දී මගේ අතින් බොහෝ විට කෙරුණේ ඓතිහාසික වටිනාකමක් තිබෙන කතා වස්තූන්. ‘සරදියෙල්’ ගත්තත් ‘කළුවර ගෙදර’ ගත්තත් ‘කටු ඉඹුල’ ගත්තත් ඒවා තුළ කිසියම් ඓතිහාසික වටිනාකමක් තිබුණා. හැබැයි ඒ හැම කතාවක් ම එකකට එකක් වෙනස්. මේවාට ලැබුණු ප්‍රතිචාරත් බොහෝ ම ඉහළයි.
නමුත් අද ‘ස්වයංජාත’ සඳහා මට ලැබෙන්නේ වෙනස් ආකාරයක ප්‍රතිචාරයක්. එදා මට වැඩි වශයෙන් ප්‍රතිචාර දැක්වූයේ උගත්, බුද්ධිමත්, ප්‍රබුද්ධ රසඥතාවයක් තිබෙන ප්‍රේක්ෂකයන්ගෙන්. නමුත් ‘ස්වයංජාත’ සඳහා තරාතිරමක් නැතිව විවිධ ගණයේ ප්‍රේක්ෂකයන්ගෙන් මට ප්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් ම මෙතෙක් මගේ නාට්‍යවලට අනුගත නොවුණු පිරිසක් ‘ස්වයංජාත’ නරඹන්න පෙලඹිලා ඉන්නවා කියලා දැනෙනවා.
‘ස්වයංජාත’ කෘතිය ඔබ ටෙලිනාට්‍යයක් සඳහා තෝරා ගත්තේ එය ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත් කෘතියක් නිසා ද?
ඇත්තටම නැහැ. ‘ස්වයංජාත’ නවකතාව පිළිබඳ මුල්ම යෝජනාව මට රැගෙන ආවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්. ඒ වෙන කොට මේ ග්‍රන්ථයට ස්වර්ණ පුස්තක සම්මානය ලැබිලා නෑ. සතිස් අයියා කියවල ඉවරවෙලා තමයි මට කිව්වේ ඒ පොත ගැන. ඒ සමඟම මට ඔය ගැන ප්‍රගීත් රත්නායකත් කිව්වා. ඊට පස්සෙ තමයි පොත කියවල බණ්ඩාර ඇහැලියගොඩ, බන්දුල ඒකනායක හා එච්.ඩී. ප්‍රේමසිරි සහ මා අතර සාකච්ඡාවක් ඇති වුණේ. ඒ අනුව තමයි ‘ස්වයංජාත’ ඇරඹුණේ.
නවකතාව පිළිබඳ මා තුළ යම් යම් ගැටලු නොතිබුණා නොවෙයි. නව කතාවට විෂය වෙන කරුණු කාරණා බොහෝ සෙයින් විවිධ පරාසයන් කරා පැතිරගෙන යනවා. ප්‍රධාන චරිත බොහොමයි. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයකට ගන්න එක අසීරු කටයුත්තක්.
එතැනදී මම එකහෙළාම කියා සිටියා මේකට ප්‍රබල තිර රචනයක් අවශ්‍යයි. ඒ නිසා මම තිස්ස අබේසේකරයන්ව ඒ සඳහා යෝජනා කරනව කියලා. නිෂ්පාදකවරුනුත් මගේ ඉල්ලීමට එකඟ වුණා. මේ කතාවේ මතුපිටින් පෙනෙන කතන්දරයට වඩා එහි යටි පෙළින් කියැවෙන අරුත වැඩියි. ඒ යටි පෙළට තිර රචනයෙන් තවත් බොහෝ දේ එකතු කළ හැකියි.
තිස්ස අබේසේකරයන්ට ඔබේ ‘ස්වයංජාත’ තිර රචනය ලියා අවසන් කරන්න බැරි වුණා නේද?
ඔව්. එතුමා මිය යන මොහොත වෙනකොටත් මේ තිර රචනය තමයි ලියමින් හිටියේ. මෙය තමයි එතුමාගේ අවසන් තිර රචනය. මම තිස්ස අබේසේකරයන්ට තිර රචනය පිළිබඳ කිව්වම එතුමා බොහොම කැමැත්තෙන් මෙය ලියන්න බාර ගත්තා. එය ලිවීමට පෙර මාස 2 1/2 ක කාල පරිච්ඡේදයක් යම් යම් ගැටලු පිළිබඳ සාකච්ඡා කළා. නවකතාව පටන් ගන්නේ අතීතාවලෝකනයකින්.
ඒකට මගේ ඒ තරම් ප්‍රියතාවයක් තිබුණේ නෑ. තිස්ස අබේසේකරයනුත් ඒකට කැමැති වුණේ නෑ. 1920 ඉඳල 1972 දක්වා අනුපිළිවෙළින් කතාව පෙළ ගස්වන්න පටන්ගත්තා. තිස්ස අබේසේකරයන්ට තිර රචනය නිම කරන්න බැරි වුණාම ඔහු ඒ සඳහා ඉතාම හරබර ඉතාම වැදගත් පූර්විකාවක් ලිව්වා. චරිත සහ සිද්ධි අතර පරස්පරයන් සැලකිල්ලට ගෙන තිර රචනය ලියන්න ආරම්භ කළා.
පළමු වැනි කොටස සම්පූර්ණයෙන්මත් දෙවැනි කොටසේ දර්ශන 05 කුත් ඔහු ලියලා තිබුණා. ඒ කොටස් ටික ඒ විදියටම අපි රූපගත කළා. ඊට පස්සේ ගැටලුව වුණේ තිර රචනය සම්පූර්ණ කරන්නේ කවුද කියන එක. ඒ වෙලාවේ මගේ කල්පනාවට ආවේ සරත් ධර්මසිරිව. ඒ අනුව ඉතිරි ටික ඔහු ලිව්වා.
මෙවැනි දැවැන්ත නිර්මාණයක් කරද්දී ඔබ මුහුණ පෑ ගැටලු සහ අත්දැකීම් රාශියක් ඇති.
ප්‍රධානම ගැටලුව වුණේ උචිත පරිසරයක් සොයා ගැනීමයි. මේ නාට්‍යයට අවශ්‍ය දර්ශන තල 120 ක් පමණ තිබුණා. දකුණු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් බළන්ගොඩ, කල්තොට, ගම්පහ සහ කොළඹ අවටත් මෙහි රූගත කිරීම් කළා. විශේෂයෙන් මාදු ගඟ මධ්‍යයේත් රූපගත කිරීම් තිබුණා.
මාදු ගඟේ රූගත කිරීම් කරන්න ගිහින් අපි සියලු දෙනාම ලොකු මාරකයකින් බේරුණා.
මාදු ගඟ මැද අට්ටාලයක් ගහලා එතන ඉඳගෙනත් රූපගත කිරීම් කළා. කැමරා ශිල්පීන් ඇතුළු කාර්මික ශිල්පීන් අඟුලක නැඟලත් රූගත කිරීම් කළා.
හේමසිරි ලියනගේ, චින්තක කුලතුංග හා සේමිණි ඉද්දමල්ගොඩ ඉන්න දර්ශනයක් රූගත කර කර ඉන්නකොට එක පාරටම ආපු කුණාටුවක් නිසා අපිව කැරකිලා කවුරුත් පේන්නෙ නැති තත්ත්වයක් ඇති වුණා. අපි වටේට ආරක්ෂක බෝට්ටු තිබුණත් ඒවත් පේන්නෙ නැති තරමට ආවා. එතන හිටපු ගමේ පුරුදු කාරයෝත් මේ වෙලාවේ බය වෙලයි ඉඳලා තිබෙන්නේ. අපි ඔක්කොම කරදරේක වැටෙන්න යන බව දැකපු පන්සලේ ලොකු හාමුදුරුවෝ එවපු බෝට්ටුවලින් තමයි අපව බේරගත්තේ. අපි ගොඩට ආවට පස්සෙ හාමුදුරුවෝ නම් කිව්වේ මාරකයක් පැන්න කියලයි.
සාහිත්‍ය කෘතී හරහා නිර්මාණකරණය කරන අධ්‍යක්ෂවරයෙක් විදියටයි අපි ඔබ දකින්නේ. ඔබේ නිර්මාණ සඳහා සාහිත්‍ය කෘති ඇසුරු කරගන්න විශේෂ හේතුවක් තිබෙනවද?
සාහිත්‍යය කියන විෂයට මගේ දැඩි ප්‍රියතාවයක් තිබෙනවා. මගේ ප්‍රවිෂ්ටය දිහා බැලුවමත් ඒ සාහිත්‍ය ඇසුරින් තමයි නිර්මාණකරණයට පෙලඹෙන්නේ. මම කරපු බොහෝ ටෙලිනාට්‍ය ගත්තත් චිත්‍රපටය ගත්තත් සාහිත්‍ය කෘතියක් ඇසුරින් තමයි නිර්මාණය වුණේ.
මට හිතෙනවා අද වෙනකොට පොත පත සම්බන්ධයෙන් වෙන කතිකාව ගනුදෙනුව අවප්‍රමාණ වෙලා කියලා. පොත් කියවන ප්‍රමාණය අඩුයි. හොඳ පොතක් ගත්තම දෙවැනි, තෙවැනි මුද්‍රණයන්ට එන්නේ කලාතුරකින්. ඒ ගැන අවධානය යොමු කරලා සම්භාව්‍ය සාහිත්‍යයට ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය හරහා දොර කවුළු විවර වුණොත් ඒ මඟින් රසඥතාව සොයා යන කොටස් රසවින්දනයට හුරු කරන්න මඟක් වෙනවා.
ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යය ඔස්සේ පොත පතින් දකින දේ සියැසින් දකින්න පුළුවන්. මම හොඳින් දන්න දෙයක් තමයි සාහිත්‍ය කෘතියක් ඇසුරින් නිර්මාණයක් කළොත් ඒ පොතපත බලන්න වැඩි පිරිසක් පෙලඹෙනවා කියන එක. ඇත්තටම අද වෙනකොට ‘ස්වයංජාත’ පොතක් කඩේ ගන්න නෑ.
වර්තමානය වනවිට ටෙලිනාට්‍ය නිර්මාණය සඳහා ලොකු තරගකාරිත්වයක් ඇති වෙලා තිබෙනවා. අද බොහෝ විට අපට දකින්න ලැබෙන්නේ සතියේ දවස් පහේම විකාශය වන දීර්ඝ ටෙලිනාට්‍ය. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?
අද අපේ රටට ඔරොත්තු නොදෙන තරමේ රූපවාහිනි නාලිකා ප්‍රමාණයක් දක්නට ලැබෙනව.
තාක්ෂණික වශයෙන් දියුණුයි කිව්වට ගුණාත්මක වශයෙන් මේවායේ යන නිර්මාණයන්හි ප්‍රමිතිය පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතු යි. අද වනවිට ටෙලිනාට්‍යය නරඹන තත්ත්වයක් නොවෙයි දකින්න තිබෙන්නේ.
ටෙලිනාට්‍යය දාලා වෙනත් වැඩක් කරන ගමන් ටෙලිනාට්‍ය අහන එකයි අද කරන්නේ. අද තියෙන්නේ ටෙලිනාට්‍ය අහන, සින්දු බලන රටක්.
ඔබේ ඉදිරි නිර්මාණ මොනවද?
හුඟක් කාලෙක ඉඳලා හිතේ තිබෙන අදහසක් තමයි විහාරමහා දේවි කතාව කරන එක. ඒක දැවැන්ත කටයුත්තක්.
Post a Comment