හීන් පොදයක් දූලි මතට වැටී නැවුම් සුවඳක් එක්කරයි. ගහකොළ තණකොළ නව කොළ පැහැයක් ගෙන තිබේ. අප මේ යමින් සිටින්නේ නුවර අම්පාර මාර්ගයේ ය. පදියතලාව පසු කළ පසුව උණු වතුර ළිංවලට යන මාර්ගය හමුවේ.
අපි මදකට උණුවතුර ළිං අසලට ගියෙමු. විවිධ උෂ්ණත්වයෙන් යුත් උණු වතුර ළිං හතකි. දිවයිනේ විවිධ පළාත්වලින් පැමිණි වන්දනා නඩ කිහිපයක් ම එහි ගැවසෙනු දැක ගත හැකි විය. අපට අවශ්‍ය වූයේ උණු වතුර ළිං බැලීමට නොව වෙනත් ඉසව්වකට යෑමට ය.
ඉර අවරට යන්නට පටන්ගෙන ඇත. පරිසරයෙහි ඇත්තේ මද රස්නයකි. මහ ඔය හන්දියෙන් හැරී ඉදිරියට යමින් සිටි අපි මාදුරුඔය, අරලගංවිල පොළොන්නරුව දක්වා දිවෙන මාර්ගයට පිවිසුනෙමු. මාර්ගය පැහැදිලිය. එය තාර නොදැමූ ගුරු පාරකි. මහඔය නගරයේ සිට වයඹ දෙසට එනම් පොලිසිය ඉදිරිපිට මාර්ගයේ සිට අපි කිලෝමීටර් නවයක් පමණ අරලගංවිල මාර්ගයේ ඇතුළතට ආවෙමු.
මාදුරුඔය ජාතික වන උද්‍යානය හරහා වැටී ඇති මාර්ගයේ හාත්පස බෙහෙවින් සොඳුරු ය. අවට ඇත්තේ විවිධ හැඩතල සිහිපත් කරනු ලබන කඳු ය. මොනරකුගේ ඉඳහිට ඇසෙන ‘ක්‍රෑස්’ හඬත් ඉගිළ යන කෑරලකුගේ හඬකුත් ඇරෙන්නට පරිසරයේ වෙනත් හඬක් ඇසෙන්නට නැත. ඉහළ අහසේ පියඹා යන වැහිලිහිණි රෑනක් ද වැස්සක් ළඟ යැයි පවසන්නට සලකුණක් මෙනි.
අපි මේ යමින් සිටින්නේ හෙනන්නේගල නම් වූ ඓතිහාසික තොරතුරු ඇතුළත් ලෙන් විහාරයක් සොයා ය. මීට සති කිහිපයකට පෙර හෙනන්නේගල පර්වතය ආශ්‍රිතව වැඩවාසය කරන ගෝනවල සුදස්සීලංකාර හිමියෝ ලේක්හවුසියට ගොඩවැදුණහ.
“මට අවශ්‍ය මේ ලෙන පිළිබඳව රටේ ජනතාව දැනුම්වත් කිරීමටයි. මේ ස්ථානයත් සීගිරිය තරමට ම වැදගත් තැනක් වෙන්නටත් පුළුවන්.”
සුදස්සිලංකාර හිමියෝ අපට එහි එන මඟ පැවැසූහ. අපි ඒ මඟ ඔස්සේ හෙනන්නේගලට ගියෙමු.
බැලූ බැල්මට සීගිරිය හා සමාන පර්වතයක් යැයි ඈත සිට සිතුවෙමු. එහෙත් ආසන්නයට ගිය විට එය සීගිරියටත් වඩා විශාල යැයි ඕනෑම අයකුට තේරෙනු ඇත.
මානා පඳුරු අතරින් වැටී තිබුණ පටු අඩි පාරේ අපි අග්නිදිග විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය අමරසිරි වික්‍රමරත්න මහඔය සංස්කෘතික නිලධාරි සමන් බණ්ඩාර, ඡායාරූප ශිල්පී විමල්, රියදුරු විජිත හා අපට මඟ පෙන්වන්නට පැමිණි හමුදා සොයුරන් දෙදෙනා ද සමඟ සෙමෙන් ගල්තලාව නැග්ගෙමු.
ගලෙහි විශාලත්වය දැනෙන්නේ ඒ එයට ආසන්න වීමත් සමඟ ය. ගල්තලාව මත සිට ඉහළ බැලූවිට පෙනෙන්නේ විශාල පවුරක් මෙන් ඇති සුවිශාල වූ කළු ගලයි.
හෙනන්නේගල පර්වතයට ඉදිරිපස ඈතින් දිස්වන්නේ ඔමුනුගල යි. එය ඔවාගිරිය නමින් ද හඳුන්වනු ලැබේ. දුටුගැමුණු රජතුමා එළාර රජු හා සටනට යුද්ධ සේනාව රැස් කරමින් මාගම සිට පැමිණි ගමනේදී හෙනන්නේගල ද කඳවුරු බැඳ ගෙන සිට සේනාව රැස් කර ඇතැයි පැවැසේ. එහිදී සේනාව රැස්කල ස්ථානය සේනානිගල වූ අතර පසුකාලීනව එම ස්ථානය හෙනන්නේගල බවට පත්ව ඇතැයි පැවැසේ.
“යුද්ධය තිබුණු කාලේ මේ පාර වහලා තිබුණේ. ඒ කාලේ මේ හරියෙත් කොටි හිටියා. මම මෙහෙට ඇවිල්ලා අවුරුදු දෙකක් විතර වෙනවා. ආව මුල් දවස්වල අපි මේ තැන්වල කඳුවල නම් දන්නේ නැහැ. මේ වටේ තියෙන හැම කන්දකටම වගේ අපි නැඟලා තියෙනවා.
අපි අපේ පහසුවට මේ කඳුවලට නම් දාලා තිබුණා. හැන්දෑවෙන කොට අලි රංචු එනවා. පල්ලෙහා අපි ඉන්න හරියටත් එනවා. ඒත් කිසිම හානියක් නැහැ.
දැන් ඉන්න හාමුදුරුවෝ මෙතැනට ඇවිත් අවුරුද්දක් විතර ඇති. හාමුදුරුවෝ ගැන සොයා බලන්නේ අපි. අපි ආව මුල් දවස්වල මේ හරිය අමු කැලෑව. දැන් මේ මාර්ගයේ උදේ සිට හවස් වනතුරු වාහන යනවා. අරලගංවිල හරහා පොළොන්නරුවට යන්න තියෙන කෙටිම මාර්ගය මේක.”
ඉංජිනේරු බලකායේ සංජීව ආර්.ආර්. අප හා පැවැසුවේය.
ගල්තලාව මත ඇත්තේ කුඩා පොකුණකි. ඊට මදක් එහායින් වන්නට ඇත්තේ විශාල ලෙනයි. ලෙන් බිත්තියේ විනාශයට යමින් පවතින චිත්‍ර පෙළකි. චිත්‍ර පෙළක් යැයි කීවාට එහි විශාල චිත්‍ර සංඛ්‍යාවක් නැත.
ස්වභාවික විපර්යාසයන් හේතුවෙන් විනාශයට යමින් පවතින මෙම ලෙන් චිත්‍රවල සීගිරි සිතුවම්වලට සමාන යැයි සැලකෙන ස්ත්‍රී රූ දකින්නට ඇත. දිගු කන් සහිත කොණ්ඩය උඩට බැඳි නාරි රූප එහි විශේෂිතය. අතරින් පතර ලා වර්ණයන් දක්නට තිබුණාට මුල් කාලයේ මෙම චිත්‍ර දීප්තිමත් වර්ණයන්ගෙන් තිබෙන්නට ඇතැයි අනුමාන කිරීමට පුළුවන.
ගල්තලාව බැස පහළට යනවිට පැරැණි ගඩොලින් ඉදි කළ කැඩී බිඳී ගිය බිත්ති ද කොරවක්ගල් මෙන් ම ගල්කණු කිහිපයක් ද කැලෑවට යටවෙමින් පවතිනු දැක ගැනීමට පුළුවන.
සුළඟ හා මුසුව එන වැහි පොදක් සිහින් ජල බිංදු සේ ඇඟ වැදෙයි. ගලට මුවා වූ විට වැස්සට තෙමෙන්නේ නැත. මහා වැස්සකදී වුව ද ගලට මුවා වී විශාල පිරිසකට ආරක්ෂා වී සිටිය හැකි ය. කැඩී බිඳී ගිය චෛත්‍ය කොටස් පහළ දී දැක ගත හැකි අතර ගල මුදුනට නැගි විට ගරා වැටී බිමට පාත් වූ චෛත්‍යයක නටඹුන් ද, පොකුණු දෙකක් ද දැක ගැනීමට පුළුවන.
නිසි සෙවණක් නැතිව වසරකට ආසන්න කාලයක් මෙම ස්ථානයේ වාසය කරමින් මෙහි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම මතුකර එය රැකගන්නට වෙහෙසෙන ගෝනවල සුදස්සීලංකාර හිමියෝ අපට පැවැසූ තොරතුරු මෙසේය.
“මම මේ ස්ථානයට වැඩම කරලා මාස අටක් පමණ වෙනවා. මේ ස්ථානයට ගම් වැසියෝ එනවා යනවා අඩුයි. මට දානය සපයන්නේ, මගේ ආරක්ෂාව සලසන්නේ යුද හමුදා ඉංජිනේරු බලකායෙ මේ ඉන්න දරුවෝ. ඔවුන් නිතර දෙවේලේ මෙතැනට එනවා. කටයුතු සොයා බලනවා.
මම මේ ස්ථානය පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටත් දැනුම් දුන්නා. නමුත් තවම නම් නිසි අවධානයක් යොමු වී නැහැ. අතීතයේ මේ ස්ථානයේ රහතන් වහන්සේ වැඩ වාසය කරන්නට ඇතැයි කියා අනුමාන කළ හැකි සාධක තිබෙනවා. යුද්ධය තිබුණ කාලේ මේ ස්ථානයේ කිසිවෙක් ඉඳලා නැහැ.
නමුත් එක් දහස් නමසිය අසූ එක කාලේ මෙම ස්ථානයේ පදියතලාවේ සේලාලංකාර නමින් හාමුදුරු කෙනෙක් වැඩ වාසය කරලා තියෙනවා. ඒ හාමුදුරුවන් අසූ හයේ දී කොටි ඝාතනය කර තිබෙනවා. පසු කාලෙක හාමුදුරුවන්ගේ සිවුර සමඟ ඇට කොටස් කන්දේගම විහාරයේ හාමුදුරුවන්ට ලැබිලා තියෙනවා. ඉන් පස්සේ තමයි මේ ස්ථානය වල් බිහි වෙලා තියෙන්නේ.”
යුද්ධය නිසා අපට අහිමි වූ දේ බොහෝ ය. ත්‍රස්තවාදීන් විසින් මෙම ලෙන් බිත්තියේ විවිධ දේ ලියන්නට ඇතැයි ද අනුමාන කළ හැකි ය.
සුදු හුණු වලින් එහි ලියා ඇති අකුරු, බලිරූප ඊට සාක්ෂියකි. ඓතිහාසික වටිනාකමින් යුතු චිත්‍රවල බදාම ගැලවී ගොස් ඇති අතර එම බිත්ති මත ඇත්තේ පසුගිය කාලයේ එහි ආ ගිය අය විසින් ලියා ඇති දේ ය.
ගල්ලෙනට ම අල්ලා සුදස්සිලංකාර හිමියන් විසින් තම වාසය සඳහා තනා ගන්නා ලද කුඩා කුටියකි. එහි සැතපෙන්නට ඇදක් ද පොත් පත් තබා ගැනීමට කුඩා මේසයක් ද හැරුණ විට වෙනත් කිසිවක් නැත. එය අල්පේච්ඡ ජීවිතයකි. අලුතින් සිටවූ දාස් පෙතියා මල් ගස් වල එක දෙක මල් පිපෙන්නට පටන් ගෙන ඇත. හෝ හෝ හඬින් අඬාගෙන ආ වැස්ස හාත්පසට වසී. අපි ගලට මුවා වී ගල මුදුනත බැලීමු. සිහින් දිය පාරක් ලෙස වැහි වතුර පහළට විසිරෙයි.
“හැන්දෑවෙන කොට අලි එනවා. උන් මේ ගල් උඩට එනවා. මේ උන්ගෙ රාජධානිය. යුද්ධ කාලේ මේ පාර වහලා තිබුණේ.
තොප්පිගල අල්ලගත්තට පස්සේ තමයි පාර ඇරියේ. ගල පහළ අපි වතුර ටැංකියක් හදලා තියෙනවා. හාමුදුරුවන්ට අවශ්‍ය වතුර අපි උඩට ගෙනැල්ලා දෙනවා.”
ඉංජිනේරු බලකායේ සංජීව, දිසානායක ඇතුළු හමුදා සෙබළ පිරිස පවසන්නේ. හාමුදුරුවන්ට සැලකීම සොයා බැලීම තම දෛනික රාජකාරියේ ම කොටසක් කරගත් සේ ය.
හෙනන්නේගල අපට සීගිරිය සිහිපත් කරන්නේ හෙනන්නේගල ඇති සිතුවම් පමණක් නොව, විශාල ගලෙහි තැනින් තැන බැඳ ඇති බඹර වද ද දුටුවිට ය. ඇතැම් බඹරවදවල බඹරු නැත. ඒ හැරුණු විට මෙම ස්ථානයෙන් සොයා ගන්නා ලද පැරැණි අවි ආයුධ කිහිපයක් ද වේ. මෙහි ආදි වාසීන් වාසය කරන්නට ඇතැයි ඇතැම් දෙනා අනුමාන කරති.
එනම් ආදි වාසීන් හිටිය මුල්ම හෙනන්නේගල මෙතැන බවයි. කෙසේ වෙතත් මෙම පර්වතයේ පහළ තැනක සෙල් ලිපියක් කොටා තිබේ. මේ පිළිබඳව අදහස් දක්වන එල්ලාවල මේධානන්ද හිමි පවසා ඇත්තේ මෙම ලෙන යටාලතිස්ස රජු හා ඔහුගේ සොහොයුරු ගෝඨාභය රජු යන දෙදෙනා විසින් කරවා මහා සංඝරත්නයට පූජා කර ඇති බවයි.
මාර්ගය විවෘත වීමත්, අනතුරක් නැතැයි දැනෙන නිසාත් දැන් දැන් වන්දනා නඩ මෙන් ම ගවේෂකයෝ මෙහි යන්නට එන්නට පටන්ගෙන සිටිති. එසේ ආ ගිය අයෙකු වූ සත්සර ඉලංගසිංහ මහතා අපට එවා ඇති සටහනක දක්වා ඇත්තේ.
“චිත්‍ර ශිල්පියෙකු ලෙස මෙන් ම, චිත්‍ර කලාවට පුරාවිද්‍යාවට ලැදි අයකු ලෙස මම හෙනන්නේගල ඇති අගනා චිත්‍ර කොටස් කිහිපය ආරක්ෂා කර ගන්නා ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දන්වමි. මෙම චිත්‍රවල අයිතිය ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටයි.
මිහින්තලේ ධාතු ගර්භයේ චිත්‍ර හා මිහින්තලේ ඛණ්ඨක චෛත්‍යයේ චිත්‍ර අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති ආකාරයට හෙනන්නේගල චිත්‍ර ද පුරාවිද්‍යා කෞතුකාගාරය වෙත ගෙන ගොස් අනාගතය සඳහා සුරක්ෂිත කිරීම ඉතාම වටිනා දෙයකි. මේ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වේ නම් එය සතුටකි.
කාලයක් තිස්සේ අව්වට වැස්සට හසුවෙමින් ස්වභාවික විපර්යාසයන්ට ලක්වූ ගල්තලා වේ මෙන් ම පර්වත බිත්තියේ ද ගල් තැනින් තැන පතුරු ගැලවී යන්නේ ය. ඇතැම් තැනෙක කටාරම් කොට ඇත්තේ ය. ඇතැම් තැනෙක කුහර මෙන් ඇතුලට හාරා ඇත්තේ ය. ඒවා ඉතා සියුම් ලෙස පිරිමැද ඇත්තේ ය.
බොහෝ වෙලා මෙම පර්වතය දෙස බලා සිටි විට ඒ තුළින් විවිධ හැඩතල මතුව පෙනෙන්නේ ය. ඒ මඟ යන ඇතැමෙක් හෙනන්නේගල පර්වතයෙන් බාගෙට කොටා ඇති බුදුරුවක් පෙනෙන්නේ යැයි බලා සිටිති. ඇතැම් විට ඒ කාලයක් විසිත් මැවූ හැඩතල වීමට ද පුළුවන.
අඩාගෙන පැමිණෙන වැස්ස ද හාත්පස අඳුර ද ගලින් පහළ බැසීමට කාලය යැයි හඟවයි. මහඔය සංස්කෘත නිලධාරි සමන් බණ්ඩාර පැවැසුවේ, “මේ ස්ථානය පෞරාණික වටිනාකමක් තිබෙන තැනක්. අපේ ප්‍රාදේශීය ලේකම්තුමා මේ ගැන අවධානය යොමු කර තිබෙනවා.
අපටත් අවශ්‍ය මේ ස්ථානය ආරක්ෂා කර ගැනීමටයි.” හාත්පස අඳුර වැඩිවෙන්නට පෙර මාදුරුඔය පාරින් අපි නැවතත් මහඔය දෙසට එන්නට පිටත් වුණෙමු. ආ මඟ දෙස හැරී බලද්දී හෙනන්නේගල වසර සිය ගණනක් පැරණි ඉතිහාස තොරතුරු සඟවාගෙන නොසැලී අප යන දෙස බලා සිටිනු දුටිමු.
සැඟවී යන්නට හෝ සඟවා තබන්ට නොව සියල්ල නිරවුල් වූ මෙවන් යුගයක ඉතිහාසය හෙළි කරන්නට වටිනා දේ රැක ගන්නටත් අදාළ බලධාරීන්ගේ ඇස, සිත යොමුවේ නම් වාසනාවකි. සීගිරිය මෙන් හෙනන්නේගල බිතු සිතුවම්වලට ද වටිනාකමක්, අර්ථයක් ලැබේ නම් එය රටට ආඩම්බරයකි. හෙළ රජදරුවන් ඇගයීමකි.
අම්පාරේ සංචාරයකින් පසු
Post a Comment