මුව පුරා විහිදුණු සිනහවකින් සරසා ගනිමින් ස්වර්ණවාහිනියේ අරුණෝදය, ස්වර්ණෝදය යන වැඩසටහන් ඔස්සේ නිවේදිකාවක ලෙස ප්‍රේක්ෂකයා ඇමතූ ඇය ඉන් පසුව ‘වසූදා’ ටෙලි නාට්‍යය හරහා රංගන ශිල්පිනියක ලෙස පුංචි තිරයේ දස්කම් පෑවාය. කලා ක්ෂේත්රයේ සෙමින් ගමනක යෙදෙන ඇය සැම විටම අර්ථවත් දෙයක් සමාජයට ලබා දීමට උත්සාහ දරන්නීය. අද සතුටු සාමිචිය ඇය සමඟයි. ඇය මේධා ජයරත්න හෙවත් ‘ඉකි බිඳින තාරකාහි’ නදීශාය.
මේධා, ඔබ වඩාත් කැමැති නිවේදිකාවක ලෙස ඔබ හඳුන්වනවාටද? රංගන ශිල්පිනියක ලෙස හඳුන්වනවාටද?
නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් ඔය චරිත දෙකටම මම කැමැති. නමුත් නිවේදිකාවකට වඩා වැඩි යමක් රංගන ශිල්පිනියක් ලෙස කරන්න පුළුවනි කියලයි මගේ හැඟීම.
ඒ කියන්නේ දැන් රඟපෑමට පමණක්ම යොමු වෙලාද?
නැහැ. නිවේදන කටයුතුවලින් බැහැර වෙලා නැහැ. අපේ කැපවීමට වටිනාකමක් තියෙනවානේ. ඒ නිසා ගැළපෙන වැඩසටහනක් ලැබුණොත් මම බාර ගන්නවා.
කලකට පසු නැවතත් ඔබ පුංචි තිරයෙන් දකින්නට ලැබෙනවා.
ඔව්. මගේ සැමියාගේ නිෂ්පාදනයක් සහ අධ්‍යක්ෂණයක් වන ‘අනවර්ථ’ ටෙලි නාට්‍යය මේ දිනවල රූපවාහිනියේ විකාශනය වෙනවා. මෙහි හදිසියේම විවාහ වී ටික කලකින් සැමියා මැරුණු තරුණ වැන්දඹුවකගේ් චරිතය තමයි මම නිරූපණය කරන්නේ. ජයනි සේනානායක, බිමල් ජයකොඩි වැනි දක්ෂ රංගන ශිල්පීන් මේ ටෙලි නාට්‍යට සම්බන්ධ වෙනවා.
ඊට අමතරව සංජය විතානගේ ‘ඉකි බිඳින තාරුකා’, ‘ගඟ අද්දර’ වැනි ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණා.
ඉතා සීමිත නිර්මාණ ප්රමාණයකටයි ඔබ සම්බන්ධ වුණේ.
එක දිගටම රඟපාන්නට මගේ කැමැත්තක් තිබුණේ නැහැ. මම බොහොම හෙමින් ගමනක් යන කෙනෙක්. රූපවාහිනියේ මුහුණ පෙන්නනවාට වඩා මට අවශ්‍ය අර්ථවත් යමක් කරන්නයි.
ඔබ රඟපෑ ටෙලිනාට්‍ය අතුරෙන් ඔබ වඩාත් කැමැති චරිතයක් තිබෙනවාද?
මේ දිනවල විකාශනය වන ‘අනවර්ථ’ නාට්‍යයේ මම නිරූපණය කරන චරිතයට මම වඩාත් කැමැතියි. ඊට අමතරව ‘ඉකිබිඳින තාරුකා’ ටෙලි නාට්‍යයේ නදීශාගේ චරිතයත් ‘සිනාසෙන්න මට’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළ චරිතයත් මම වඩාත්ම කැමැති චරිත කිහිපයක්.
මෙගා ටෙලිනාට්‍යවලට සම්බන්ධ වීමට කැමැත්තක් නැද්ද?
අපෝ නැහැ. ඒක හරිම කම්මැලි වැඩක්. මම මුලින්ම රඟපෑවෙත් මෙගා ටෙලිනාට්‍යයක. දීර්ඝ කාලයක් එකම චරිතයකට කොටුවී සිටීම නිසා කාලයක් යන කොට ඒ චරිතය ප්‍රේක්ෂකයාට එපා වෙන්නටත් පුළුවනි. මම රඟපෑ ‘ඇන්ඩ් කම්පැනි’ ටෙලි නාට්යයයටත් විශාල ප්‍රතිචාර ලැබුණත් මම ඒකෙනුත් අයින් වුණේ් ඔය හේතුව මතයි.
පසුගිය කාලේ නිවේදන ක්ෂේත්රයේ රැකියාවක් කළා නේද?
ඔව් නමුත් ගෘහණියක ලෙස මගෙන් ඉටුවිය යුතු යුතුකම් සමූහයක් තිබෙනවානේ. ඉතින් මගේ පුතාගේ අධ්‍යාපන කටයුතු සඳහා කාලය යොමු කරන්න ඕනේ. ඒ නිසා දැන් මම නිවෙසේ වැඩ කටයුතු කරගෙන ඉන්නවා.
ඔබගේ පවුලේ තොරතුරු?
මගේ සැමියා සුරංග ලක්මාල් සෙනවිරත්න. පුතා උලිඳු චංක්‍රමණ සෙනවිරත්න. සක්සෙස් ජාත්‍යන්තර පාසලේ තමයි පුතා ඉගෙන ගන්නේ.
ටානියා මෝසස්
Post a Comment