ලියන්න දෙයක් නෑ කියලා උඩ බලාගෙන ඉන්න කොට තමා රංග අය්යාගේ අපේ නංගි පෝස්ට් එක කියෙව්වේ. මටත් මතක උනා මල්ලිටයි මටයි වෙච්ච ඇබැද්දියක්. මේක උනේ අපි තංගල්ලට ගිය අලුත. එතකොට මට අවුරුදු 8 ක විතර ඇති මල්ලිට අවුරුදු 5 යි. එහෙ ගෙදරට ගිය අලුත වැඩිය බඩු තිබුනෙත් නෑ. අපිට ඕන හැටියේ දඟලන්න පුළුවන්.
අපිට හම්බවෙච්ච තව අලුත් දෙයක් තමයි ජනෙල වල ගහල තිබ්බ දැල්. අපි හිටපු බණ්ඩාරවෙල ගෙදර ඕව තිබුනේ නෑ. ඒ මදිවට එළියේ බිත්තියකුත් තිබ්බා හිල් හිල් තියෙන. (අනේ මන්ද ඒවාට මොනවා කියනවද කියල). කොහොමහරි ඕව දැක්කම මට මතක වෙච්ච් පලවෙනි දේ තමයි ඕවයේ නගින්න පුළුවන් නේද කියල. හැබැයි හොරෙන් තමයි කලේ. දන්නවනේ කන්න වෙනවා කියල. ගේ ලගම තිබ්බ කරපිංචා ගහක නගින්න ගිහිල්ල, එකේ පොඩි ගැට්ටක අඳුම පැටලිලා, කවුරුහරි එනකන් එල්ලිලා හිටපු දවසුත් තිබ්බා.
මේ කියන්න කතාව උනේ ජනේලේ ග්‍රිල් වල නගින්න ගිහින්. ඒ ගෙදර තිබ්බේ නිකන්ම මෝස්‌තර නැති කොටු කොටු ග්‍රිල්. දවසක් අම්මා අපි දෙන්නට දවාලේ බත් කව කවා හිටියා. ඒ කාමරේ ඉඳං කුස්සියට ටිකක් යන්න ඕනේ අම්ම වතුර ගේන්න එහෙම කුස්සියට යනකොට මන් කරන්නේ ජනේලේ දිගේ නගිනවා. අම්මා එන සද්දෙට ටක් ගාලා බහිනවා. ඕක බලන් ඉඳල මල්ලිත් නගින්න පටන් ගත්තා. අම්මා එනකොට දෙන්නම බහිනවා. අම්මා කොහොමහරි අපි දෙන්නටම කවලා, කෙහෙල් ගෙඩි අරන් ගිය අතරේ අපි ආපහු නැග්ගා. නැගල අම්ම එනවා ඇහෙනකොට මං බැස්සා, මල්ලිට කලබලේට බහින්න බැරි උනා. කොහොමහරි අම්ම එනකොටම එය ජනේලෙන් ඇඳට වැටුනා.
ඇඳට වැටිලා මිනිහා දන නැගිටින්නේ නෑ. අම්මා බයවෙලා කෑගහනවා. මං කිව්වා 'නෑ එයා ඔය හිනා වේවි ඉන්නවා' කියලා. පස්සේ බැරිම තැන හරවලා බලනකොට වැටිච්ච වේගෙට එයාගේ අත වැලමිටින් කැඩිලා. එයා හොඳටම අඬනවා. අම්මා මට බනිනවා. ඒ අස්සේ තාත්තාත් ගෙදර නෑ මාතර ගිහිල්ලා. කොහොමහරි එයාවත් ගෙන්නවලා මෙයාව මාතර ඉස්පිරිතාලෙට ඇතුළු කරා. ඒ මදිවට මල්ලි හෘද රෝගියෙක්. දැන් ඉස්පිරිතාලෙන් ඉල්ලනවා ඒ වාර්තා. ඒවා තිබුනේ බණ්ඩාරවෙල. ඊටපස්සේ අම්මයි මමයි රියදුරෙක් එක්ක රෑම බණ්ඩාරවෙල ගිහින් අර වෛද්‍ය වාර්තා ටික අරගෙන් අනෙත් පැත්තට මාතර ආවා. එවෙලේ ප්ලාස්ටර් එකක් එහෙම අතට දැම්මට පස්සේ සැහෙන කාලයක් වෙදගම බඩගෑව.
ඊට පස්සේ නම් ආසවටවත් උඩවල් වල නැග්ගේ නෑ. නැගගත් ගෙදර කවුරුත්ම නැති වෙලාවට තමයි.
Post a Comment